තාක්‍ෂණවේදයෙන් සරසවියට ගන්නා ප්‍රමාණය අඩුකරයි


උසස්‌ පෙළට අලුතින් හඳුන්වාදුන් තාක්‌ෂණවේදය විෂයධාරාවෙන් විශ්වවිද්‍යාලවල ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව 1825 සිට 1675 දක්‌වා අඩු කිරීමට සිදුවී තිබේ.
කලින් සැලසුම් කර තිබූ පරිදි සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්‌ෂණ පීඨය මෙවර ආරම්භ නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේද අනුමැතිය මත තාක්‌ෂණ පීඨය රත්නපුරයේ පිහිටුවීමට සියල්ල සැලසුම් කර තිබූ නමුත් පසුව එම පීඨය රත්නපුරයේ නොව බෙලිහුල්ඔය පඹහින්නේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේම ආරම්භ කරන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම් දීම මෙම ගැටලුසහගත තත්ත්වයට හේතු විය. පීඨයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා රුපියල් දශ ලක්‌ෂ
1065 ක ඇස්‌තමේන්තුව වෙනුවෙන් කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියද ලැබී තිබිණි.
පඹහින්නේ මෙම තාක්‌ෂණ පීඨය ආරම්භ කරන ලෙස ප්‍රතිපාදන කොමිසම දැනුම් දුන්නද එය ප්‍රායෝගික නොවන හෙයින් පීඨය එහි ස්‌ථාපිත කිරීමට එකඟ නොවන බවට සබරගමුව විශ්වවිද්‍යාලයීය සනාතන සභාව තීරණයක්‌ද ගෙන තිබේ. මෙම තත්ත්වය මත මින් ඉදිරියට හෝ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්‌ෂණ පීඨය ස්‌ථාපිත කළ නොහැකි බව එහි ආරංචි මාර්ග කීවේය.
මෙවර සබරගමුවට ඇතුළත් කිරීමට නොහැකි වන සිසුන් 150 දෙනා වෙනත් විශ්වවිද්‍යාලවල තාක්‌ෂණ පීඨයන්ට ඇතුළත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළද නියමිත සිසුන් සංඛ්‍යාව හැර අමතර සිසුන් බඳවා ගැනීමට එකඟතාවක්‌ හෝ පහසුකම් හෝ නැතැයි විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරු "දිවයින"ට පැවසූහ.
තාක්‌ෂණවේදය විෂය ධාරාව යටතේ පසුගිය වසරේදී ප්‍රථමවරට සිසුන් දොළොස්‌ දහසක්‌ පමණ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් 7800 කට අධික පිරිසක්‌ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටිති. පවතින තත්ත්වය මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනෙන්නේ සිසුන් 1675 ක්‌ පමණක්‌ වීම බරපතළ තත්ත්වයක්‌ යෑයි මහාචාර්යවරු පවසති. මෙම විෂය ධාරාවෙන් සිසුන් 2200 ක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව කලින් ප්‍රකාශ කර තිබිණි.
නිලන්ත මදුරාවල
Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න